Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආන්දෝලනාත්මක නඩු ගණනාවක් ඇතුළුව නඩු ගොනු 30,000කට අධික සංඛ්‍යාවක් ගබඩා කොට ඇති අලුත්කඩේ පස්මහල් උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල තුළ ඊයේ (15දා) සන්ධ්‍යා භාගයේ හදිසියේ ම හටගත් මහා ගින්නක් වහා නිවා දැමීමට ගිනි නිවන රථ 9ක් හා භට පිරිස් ද, ගුවන් හමුදා හා යුද්ධ හමුදා භට පිරිස් ද සමත් වූහ.

අබලි ගෘහ භාණ්ඩ, ප්ලාස්ටික් බඳුන්, කොසු, ඉදල්, මේස, පුටු ආදිය ගබඩා කොට තිබූ ‘බිම් මහලේ’ ගින්න හට ගෙන තිබීමත් ඉන් පිටතට එය පැතිරීම වළක්වා ගත හැකි වීමත් නිසා අධිකරණයේ නඩු ගොනු ඇතුළු ලේඛනවලට, වෙනත් උපකරණ හෝ පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණවලට හෝ කිසිදු හානියක් සිදුනොවීම කාගේත් සැනසිල්ලට හේතුවක් විය.

කෙසේ වෙතත්, ගින්න හටගත් ආකාරය සෙවීමට රස පරීක්‍ෂක මෙන් ම අපරාධ පරීක්‍ෂණ කණ්ඩායම් 3ක්ද ඊයේ පත්කරනු ලැබීය.

අධිකරණ අමාත්‍යාංශය පිහිටා ඇත්තේ ද මෙම උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගල්ල තුළ ම වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ සියලු ම කාර්යාංශ හා ලේඛකාධිකාරී කාර්යාල දෙක ද අධිකරණ ශාලා 12ක් ද නඩු ගොනු ආරක්‍ෂිතව තබා ඇති ප්‍රධාන ලේඛනාගාර දෙක ම ද පිහිටා ඇත්තේ එම ගොඩනැගිල්ල තුළ ම ය.

පස්වරු 4.35ට පමණ උපරිමාධිකරණ ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක නිලධාරීන් කිහිපදෙනෙකුට පස්වන මහලේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ ශ්‍රවණාගාරයේ වාකවුළු තුළින් පිටවෙමින් තිබූ දුම් රොටු නිරීක්‍ෂණය වීමත් සමග ම ආරක්‍ෂක ප්‍රධානී (මාර්ෂල්) දැනුවත් කිරීම නිසා මෙම විනාශය වළකා ගත හැකිවූ බැව් අනාවරණය විය.

උපරිමාධිකරණ ආරක්‍ෂක ප්‍රධානී (මාර්ෂල්)ගේ දැනුම්දීම මත මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළ ගිනි නිවන රථ 9ක් හා භට පිරිස් එහි ළඟාවී මෙහෙයුම් ආරම්භ කළ අතර ඒ හා සමග ම කෙසෙල්වත්ත වැ.බ. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක්ද ළඟා වී ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාත්, නීතිපති දප්පුල ද ලිවේරා මහතාත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ද, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එහි ළඟාවත් ම, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රමුඛ විශාල පොලිස් නිලධාරීහු පිරිසක් ද එහි පැමිණ සිටියහ.

ගුවන් හමුදා නිලධාරීන් හා භට කණ්ඩායමක්ද යුද්ධ හමුදා නිලධාරීන් ප්‍රමුඛ භට කණ්ඩායමක් ද ඒ සමග ම ළඟාවිය.

පස්වැනි මහලෙන් ඒ වන විට විශාල දුම් කඳක් පිටවෙද්දී ගිනි නිවන භට පිරිස හා ගුවන් හමුදා භට පිරිස් ද වහා ගොඩනැගිල්ල තුළට පිවිසී සිදුකළ නිරීක්‍ෂණයේදී අනාවරණය කරගත හැකි වූයේ මහල් 5 ම කළු දුමෙන් වැසී ගිය ද ගින්න හටගෙන ඇත්තේ එකී මහල් 5න් එකක හෝ නොව බිම් මහලේ බව ය.

ඒ අනුව, වහා ගින්න නිවීම ආරම්භ කළ ගිනි නිවන භට පිරිස් හා ඊට සහභාගි වූ ගුවන් හමුදා භට පිරිස්වලට පැයකටත් වඩා අඩු කාලයක් තුළ ගින්න මැඬ පැවැත්වීමට හැකි විය.

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාත් නීතිපති දප්පුලද ලිවේරා මහතාත්, අධිකරණ අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාත් එම ස්ථානයේදීම පැවැත්වූ සාකච්ඡාවකින් පසු තීරණය කරන ලද්දේ, මෙම ගින්න හටගත් ආකාරය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා වහාම අපරාධ පරීක්ෂණ නිලධාරි කණ්ඩායම් 03ක් යෙදවීමටත්, අද (16දා) උදෑසන සිට ම ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ කටයුතු සුපුරුදු ආකාරයෙන් ම සිදුකිරීමට හැකියාව පවතිනබැවින්, ගොඩනැගිල්ලේ මහල් 05 තුළට ම ඇතුළුවී ඇති ‘දුම්’ ඉවත් කිරීම සඳහා ගුවන් හමුදාවේ ඒ සඳහා ඇති උපකරණ හා භට පිරිස් ඊයේ රාත්‍රිය පුරා සේවයේ යෙදවීමටය.

ඒ අනුව, ඒ මොහොතේ ම අදාළ අංශ වෙත දැනුම් දීම සිදුවිය.

මෙම ස්ථානයේදී ම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේත්, නීතිපති දප්පුලද ලිවේරා මහතාගේත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේත්, අධිකරණ අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේත් විශේෂ අවධානයට යොමුවූ කරුණක් වූයේ ආන්දෝලනාත්මක නඩු ගණනාවක්ම විභාග අවසන්කොට තීන්දු දීමට ආසන්නව ඇති හෙයින් එම නඩු ගොනු ගබඩාකොට ඇති පළමු වන මහලට ක්‍රම ක්‍රමයෙන් රාත්‍රිකාලය වන විට ගින්න පැතිරයන පරිදි සැලසුම්කොට ඊට පහළින් පිහිටි මහලවන බිම් මහලේ මෙම ගින්න දැල්වීමට යම් සැලසුම් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේද යන්න සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍යතාව පැනනගින බවය.

ඒ අනුව, අවශ්‍ය අංශවලට උපදෙස් හා මඟපෙන්වීම සිදුකිරීමට ද තීරණය විය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *