Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now
moon phases
(Interview with Ada Newspaper)
19.09.2017
සඳු මහ පොළොවේ අසම සම ආරක්ෂකයා ය. බාහිර අජටාකාශයෙන් පෘථිවිය කරා ඇදී එන සියලු ශක්ති පදාර්ථ තමා වෙත ඇද ගන්නා සඳු ඒවා හැකිතාක් පවිත්‍ර කොට මහ පොළොවට මුදා හරින ෆිල්ටරයක් ලෙස ක්‍රියා කරයි. දෙවනුව පෘථිවිය සහ අනෙක් ග්‍රහ ලෝක අතර ප්‍රධාන සම්බන්ධීකාරකයා ලෙස ක්‍රියා කරන සඳු මහ පොළොවේ සමබරතාව කෙරෙහි තීරණාත්මක වේ. සඳුගේ මේ ක්‍රියාකාරීත්වය නොවන්නට මහ පොළොවේ ශාක සහ ජෛව විවිධත්වය මෙතරම් සරුසාර වන්නේ නැත. ජ්‍යොතිෂය අනුව සඳු ග්‍රහලොව මවු ලෙස සැලකෙන අතර පෘථිවියේ ජීවය සඳු මත රඳා පවතින බැව් එයින් නිවේදනය කෙරේ.
ඕනෑ ම පුද්ගලයකු උපදින ජන්ම නැකත තීරණය කෙරෙනුයේ ඒ වන විට සඳු තැන්පත්ව සිටින නැකත සහ නැකත් පාදය පදනම් කැර ගෙන ය. ඔහුගේ හෝ ඇයගේ ලග්නයට වඩා සඳු තැන්පත්ව සිටි රාශිය සහ නැකත් පාදය ප්‍රමුඛ කොට ගැනීම සම්භාව්‍ය උසස් ජ්‍යොතිෂ ගණිතයේ රහසකි. කේන්දරයේ සඳු සහ අනෙක් ග්‍රහයන් අතර පිහිටන සමීපස්ථ සහ දුරස්ථ න්‍යාය මෙන් ම සඳු මුලික කොට ගත් ජ්‍යාමිතික සිතියම මත පුද්ගලයාගේ මෙලොව ගමන් මග තීරණය කෙරේ.
මේ අනුව බලන කල මහ පොළොවට මෙන් ම එහි පවතින සමස්ථ ජෛව පද්ධතීන්ට ම සඳු සහ සඳුගේ ක්‍රියාකාරීත්වය තීරණාත්මක වන බව පෙනී යයි. සඳු යහපත් ලෙස ක්‍රියාකරන තාක් මහ පොළොව සහ ජීවය සුරක්ෂිත ය. යම් හෙයකින් සඳු අයහපත් ලෙස ක්‍රියා කරන්නේ නම් එවිට මහ පොළොව සහ ජීවය අනාරක්ෂිත ය.
සඳු මහ පොළොවට සතුරු ලෙසින් ක්‍රියා කරන ප්‍රධාන අවස්ථා කිහිපයකි.
1. චන්ද්‍රග්‍රහණ අවස්ථාව
2. සූර්ය ග්‍රහණ අවස්ථාව
3. අමාවක – පුර පසළොස්වක සහ අව අටවක – පුර අටවක යන හතර පෝය
4. සුපිරි සඳු උදාවන අවස්ථාව
5. සඳු සහ රාහු සංයෝගවන අවස්ථාව
මේ අවස්ථාවලදී සඳුට තම ප්‍රකෘති ස්වරූපය සහ ක්‍රියාකාරීත්වය අහිමිවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මහ පොළොව අනාරක්ෂිත වේ. එවිට මහ පොළොවේ සමතුලනය බිඳී යෑම මෙන් ම අජටාකාශයෙන් නිකුත්වන අති මහත් විෂකුරු ශක්ති පදාර්ථ එක එල්ලේ ම පොළොව කරා ඇදී ඒම නිසා මිහිතලය දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්වේ. බිහිසුණු භූ චලන හට ගැනීම සහ සඳුගේ පිහිටීම අතර පවතින්නේ වෙන් කළ නො හැකි සම්බන්ධයකි. පුර පසළොස්වක පෝයදාට අහස ලස්සන ය. එහෙත් ඒ ලස්සන යටින් සැඟවී තිබෙන්නේ බියකරු අවදානමකි. 2004 වසරේ දෙසැම්බර් 26 දා පුර පසළොස්වක පෝය දා හටගත් සුනාමිය මේ සඳහා එක් නිදසුනකි. අන් සියලු දිනයන්ට වඩා පුර පසළොස්වක පෝය දා බියකරු ය. ඒ මොහොතේ සුපිරි සඳු උදා වූයේ නම් ඒ දවස අති බියකරු ය. ( මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පසුගිය සිළුමිණ පත්‍රයේ පළ කෙරිණි. )
හතර පෝය මෙතරම් නපුරු වන්නේ කෙසේ දැයි කෙනෙකු විසින් විමසනු ලැබීම සාධාරණය.
1. අමාවක පෝය දා රෑ අහස කට්ට කළුවර ය. ජ්‍යොතිෂය අනුව මේ දවස කිසිදු සුබ කටයුත්තකට යොදා නො ගනී. මන්ද සඳු මුළුමනින් ම පාහේ හිරුගෙන් වැසී යන හෙයිනි. එනම් සඳු සහ හිරු එකම අංශකයේ පිහිටයි. මෙදින මළවුන්ගේ දිනය ලෙස සැලකීම ඉතා යුක්ති යුක්ත ය. එහෙත් හිරුගේ ග්‍රහණයෙන් නිදස්ව එන නව සඳු බටහිර ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුවිශේෂී අවස්ථාවකි.
2. පුර අටවක පෝය යනු සඳු හිරුගෙන් අංශක 90 ක් දුරස්ථ වූ අවස්ථාව ය. එය අසුබ දෘෂ්ටියකි.
3. පුර පසළොස්වක පෝය යනු සඳු හිරුගෙන් අංශක 180 ක් දුරස්ථ වූ අවස්ථාවය. මෙය බටහිර සහ පෙරදිග යන භේදයක් නැතිව ඉතා අසුබ දෘෂ්ටියක් ලෙස සැලකේ.
4. අව අටවක පෝය යනු අව සඳු අංශක 90 කින් හිරුට සමීප වූ අවස්ථාව ය. මේ අව සඳුගේ චතුරශ්‍ර දෘෂ්ටිය ද අසුබ වේ.
( හිරු සහ සඳු අතර හට ගන්නා දුරස්ථ සහ සමීපස්ථ සිද්ධාන්තය මත හතර පෝය නිර්මාණය වන අතර ඉහත දැක්වූයේ ඒ පිළිබඳ ලුහුඩු සටහනක් පමණි. මේ නිසා මහ පොළොවට ඇති කෙරෙන පීඩනය අනෙක් ග්‍රහයන්ගේ පිහිටීම අනුව උග්‍ර විය හැකිය. ඒවා වෙන් වෙන් ව අධ්‍යයනය කළ යුතු ය.)
මේ අතරින් වඩාත් ම වැඩි අවදානම ගෙන දෙන්නේ පුර පසළොස්වක පොහෝ දිනය යි. මෙදින සඳු හිරුගෙන් ඈත් විය හැකි උපරිම දුර වූ අංශක 180 කින් ඉවතට යන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මහ පොළොව හිරු සහ අනෙක් ග්‍රහයන් වෙත පුළුල්ව නිරාවරණය වේ. යම් හෙයකින් සඳුට සමීපව හෝ දුරස්ථව ග්‍රහ පොකුරක් නිර්මාණය වී තිබුණේ නම් පොළොවේ සමතුලනය බිඳවැටීමෙන් බිහිසුණු භූ චලන හට ගැනීමේ අවදානමක් නිර්මාණය වේ. අනෙක් අතින් පුර පසළොස්වක සඳු විසින් පොළොවේ ඇති සියල්ල ම තමා දෙසට ඇද ගැනීමට තැත් කිරීම නිසා එයින් ද මහ පොළොවට ඇති කෙරෙන්නේ පීඩනයකි. මේ පුර පසළොස්වක සඳු යම් හෙයකින් සුපිරි සඳු බවට පත් වූයේ නම් පෙර කී පීඩනය දෙගුණ වේ.
හතර පෝයට සිල් ගැනීම සිංහල බෞද්ධයන් අතර පවතින ජනප්‍රිය කතාවකි. හතර පෝය කෙසේ වෙතත් පුර පසළොස්වක පොහොයට නම් ඇතැම්හු සිල් සමාදන් වෙති. එහෙත් මේ සිරිත සහ ජ්‍යොතිෂය අතර ඇති සම්බන්ධය බොහෝ දෙනෙක් නො දනිති. සඳු ගෙන් පොළොවට ආරක්ෂාවක් නො ලැබෙන දිනයේදී කළ යුතු හොඳම ක්‍රියාව වන්නේ හැකිතාක් සිත කය දෙක සංවර කැර ගෙන සිටීම ය. පෝය දාට සුබ නැකත් නැත. එහෙයින් මංගල කටයුතු – ඉදිකිරීම් – ව්‍යාපාර ආරම්භය ආදී කිසිවකට පෝය දිනය යොදා නො ගන්නා අතර ජ්‍යොතිෂය පිළිබඳව දැනුම ඇති පැරණි වෛද්‍යවරුන් මෙදින වෙද හෙදකම් පවා නො කෙළේ ය. පෝය දාට හේනට කුඹුරට නො යන ගොවියා එසේ කෙළේ පෝය දවසේ ඇති අනතුරුදායක බව අත්දැකීමෙන් පසක් කැර ගත් නිසා ය.

– කේ. සී. ජේ . රත්නායක

Leave a Reply

Your email address will not be published.