Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දින කිහිපයකට මත්තෙන් සමාජ ජාල මාධ්‍යය ඔස්සේ ඉතා වේගයෙන් සංසරණය වූ, කුඩා දරුවන් කිහිප දෙනෙකු එකිනෙකාට තර්ජනය කරමින් අන්තර්ජාලයට මුදා හළ වීඩියෝ පට කිහිපයත් ඉන් අනතුරුව එහි ප්‍රතිඵලයක් ලෙස පෙළ ගැස්වුණු සිද්ධි දාමයත් නිසාවෙන් අප සමාජය තුළ ‘සමාජ මාධ්‍ය ජාල, අන්තර්ජාලය හා දරුවන්’ යන මාතෘකාව අන් කවරදාටත් වඩා උච්ච ලෙසින් කරළියට පැමිණි තිබෙන අවස්ථාවක ඔබේ අවධානය යම් වැදගත් කරුණක් කෙරේ යොමු කරන්නට කැමැත්තෙමි.

මේ සමස්ත සිද්ධි දාමයත් සමඟින් සමාජයේ මේ පිළිබඳව විවිධ මත පළ කෙරෙනු දක්නට ලැබිණි. මෙම වීඩියෝ පට මුදා හැරුණු මුල් අවස්ථාවලදී එය බොහෝ දෙනෙකුට යම් හාස්‍ය රසයක් ගෙන දෙන්නක් වුවද ක්‍රම ක්‍රමයෙන් තත්ත්වය නරක අතට හැරෙන බව වටහා ගැන්මත් සමඟ බොහෝ දෙනෙකු මේ සම්බන්ධව සිය විවේචන එල්ල කළ අතර නිසි බලධාරින්ට පවා මෙය වාර්තා කරන්නට පෙළඹිණි. කෙසේ වෙතත් මේ සිදුවීම් වාර්තා කරමින් අන්තර්ජාලය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවට කරන ලද යම් යම් අදහස් දැක්වීම් සිදු කර තිබූ ආකාරය ද නැවත කතිකාවතට භාජනය කළ යුතු වන්නේ මේ සිද්ධියට අදාළ දරුවන්ගේ පෞද්ගලිකත්වය නිරාවරණය කරමින් ඔවුන් මහා අපරාධ කරුවන් ලෙස උලුප්පා දක්වන ආකාරය සැළකිල්ලට ගැනීමේදිය. මේ දරුවන් මුල් අවස්ථාවේදී සිය විඩියෝ පට කිසිවෙකුගේ පෙළඹවීමෙන් හෝ මුදා හළ මුල් අවස්ථාවේ ඔවුනට සිදු වූ හානිය මෙන්ම හානියක් ඔවුනට මේ තදබල විවේචන හරහා සිදු වනු ඇති බව ළමාවියේ පවතින මානසික සංවේදි බව ගැන යම් අදහසක් ඇති ඕනෑම අයෙකුට වැටහෙන බව මගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් මෙහීදී ඔබේ අවධානය යොමු කරන්නට සූදානම් වන ප්‍රමුඛතම කාරණය වන්නේ මේ සිදුවීම් නිසාවෙන් දරුවන්ට අන්තර්ජාලය සමඟ ගැවසීම ඉතා අනතුරුදායක ලෙසින් දකිමින් සමාජ මාධ්‍ය ජාල බිල්ලෙකු බවට පත් කිරීමට වැඩිහිටි පරම්පරාවේ ඇතැමෙකු දරන උත්සාහය කාලෝචිත නොවන බව මගේ පෞද්ගලික හැඟීමයි. මගේ අදහස වන්නේ සමාජ මාධ්‍ය ජාල හා ඒ තුළ පවත්වා ගත යුතු ආචාර ධර්ම, ඒවා පරිහරණයේදී සිය ආරක්ෂාව සලසා ගන්නා ආකාරය, එහි තිබෙන විවෘත ස්වාභාවය හේතුවෙන් තමන්ට ඒ හරහා ලැබෙන තොරතුරු විශ්වාසනීය මූලාශ්‍ර වලින් තහවුරු කරගන්නා අයුරු, සමාජ මාධ්‍ය ජාල වල දක්නට ලැබෙන වෙනස් මත වලට ගරු කරමින් ආචාරශීලීව තමන්ගේ මතය ඉදිරිපත් කරන ආකාරය, අන්තර්ජාල අපරාධ ක්‍රියා හඳුනා ගන්නා අයුරු හා ඒවාට ක්‍රියාත්මක විය යුතු ආකාරය ආදිය මෙන්ම තමන්ට උරුම ළමා අයිතිවාසිකම් පිළිබඳව දරුවන්ට පාසල් විෂය නිර්දේශය තුළම ඉගැන්වීමට කටයුතු කිරීම ඉහළ ප්‍රමුඛතාවයකින් සළකා දරුවන්ගේ යහපත වෙනුවෙන් ගත යුතු පියවරක් බවය. .

මුහුණු පොතේ ගිණුමක් හදන හැටි පාසලේ කාලපරිච්ඡේදයක උගන්වන චිත්‍රයක් මවා ගත් විට බැලූ බැල්මට කෙනෙකුට මෙය හාස්‍යට තුඩු දෙන කාරණාවක් විය හැකිය. එය එසේ වන්නේ අපේ පරම්පරාවේ සමාජ මාධ්‍ය ජාල වල භාවිතාවේ සුලබතාවය මෙතරම් ඉහළ මට්ටමක නොතිබූ හෙයින් එය කාලයේ අවශ්‍යතාවයක් නොවූ බැවිනි. ඔබට මතක නම් පාසලේ පහළ ශ්‍රේණි වල අපට දකුණ බලා වම බලා නැවතත් දකුණ බලා පාර පනින හැටි පවා කියා දෙන පාඩම් තිබිණි. සමබර ආහාර වේල් ගැන අපි උගත්තෙමු. විද්‍යා විෂයේදී විදුලි බලය ගැන අපි උගත්තෙමු. ඒවා අපේ විෂය නිර්දේශයට ඇතුළත් කරන්නට ඇත්තේ අපේ එදිනෙදා ජීවන රටාවේ නිරන්තරයෙන් අප මේ දේවල් සමඟ ගනුදෙනු කරන නිසා විය යුතුය. කෙසේ වෙතත් අපේ විෂය නිර්දේශ වල අන්තර්ගතයන් ප්‍රයෝගික ජීවිතයේදී කොතරම් දුරට අපට භාවිතයට ගත හැකිද යන්න වෙනම සාකච්ඡාවට බඳුන් කළ යුත්තක් වන අතර මේ කුඩා ලියමනේ අරමුණ එය නොවේ.

දැන් අපේ ජීවන රටාව දෙස බලන විට අප අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ජාල භාවිතා නොකරන එක් දිනක් හෝ ඇත්දැයි මට සැකය. අප බොහෝ දෙනෙකු කරන රැකියාවන්ටද අන්තර්ජාලය සම්බන්ධ නොවන අදියරක් සොයා ගන්නට පවා අපහසුය. සමහර බඳවා ගැනීම් සිදු කරන ආයතන පවා අදාළ රැකියා අයදුම් කරුවා පිළිබඳව යම් අදහසක් ලබා ගැනීමට ඔහුගේ සමාජ මාධ්‍ය ජාල භාවිතාව පරීක්ෂා කරන අවස්ථාද නැත්තේ නොවේ. සමහරුන්ගේ රැකියා පවා සෘජුවම පදනම් කරගන්නේ අන්තර් ජාලය හා සමාජ මාධ්‍ය ජාලයන්ය. එමෙන්ම පසුගිය කාලයේ රටේ ඇති වූ ව්‍යසනකාරී ක්‍රියා සමහරකට වෛරිභාෂණයන් හරහා ජාතින් අතර ඝට්ටනයන්ට ඉන්ධන සැපයීම මෙන්ම මෑත ඉතිහාසයේ රටේ සිදුවූ ස්වභාවික විපත් සියල්ලේදීම පාහේ රටේ තරුණ පිරිස් ආපදා කළමණාකරණ කටයුතු වලට යොදා ගත්තේද මේ සමාජ මාධ්‍ය ජාලාමය. මේ වන විට කොවිඩ් වසංගතය නිසා නිවෙස් වලට වී සිටින අප බොහෝ දෙනෙකු තමන්ගේ කටයුතු සිදු කරගන්නේද අන්තර්ජාලයට පින්සිදුවන්නටය.

කෙසේ වෙතත් අප බොහෝ දෙනෙකුට මේ දේවල් පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් නොලැබුණු බව නොරහසකි. ඒ නිසාවෙන් අප බොහෝ දෙනෙකු අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ජාල පිළිබඳව කරන ලද්දේ ස්වයං ඉගෙනුමකි. එහෙයින් කිසිවෙකු හෝ මේ සම්බන්ධ දැනුම පාසල් විෂය නිර්දේශය හරහා දරුවන්ට ලබා දීම අනවශ්‍ය අනතුරකට ඔවුන් භාජනය කිරීමක් ලෙස දකිමින් මේ දරුවන්ද අප සිදු කළ ලෙසින්ම පසු කාලීනව මේ දෑ ගැන තනිවම උගත යුතු යැයි සිතන්නේ නම් එය ප්‍රමාණවත් නොවන බවටත් මේ පිළිබඳවත් විධිමත් වූ අධ්‍යාපනයක් අත්‍යවශ්‍ය බවටත් හොඳම නිදසුන වන්නේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් සපුරන ලද වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පවා සමහර විටෙක තොරතුරු මූලාශ්‍ර තහවුරු කර ගන්නට තරම් ඉස්පාසුවක් නොමැතිව යම් යම් පිරිස් විවිධ ලාභ ප්‍රයෝජන උදෙසා පතුරවන කටකතා ආදිය ඉස් මුදුනින් සත්‍ය ලෙස පිළිගෙන ඒවා සමාජගත කරන්නට නොදැනුවත්ම හෝ සමාජ මාධ්‍ය ජාල හරහා දායක වනු මෙන්ම ඔවුන්ද අන්තර් ජාල අපරාධ වලට ගොදුරු වන අවස්ථා හා ඒවායේ නියැළෙන අවස්ථා ඇති පදම් දකින්නට අහන්නට ලැබෙන නිසාවෙනි. . එමෙන්ම උගත් යැයි සැළකෙන අයවලුන් තමන්ගේ මතයට විරුද්ධ මතයක් ඉවසා දරා ගන්නට නොහැකිව ද්වේශ සහගතව වෛරී භාෂණයේ යෙදෙන අවස්ථා සමාජ ජාල මාධ්‍ය තුළ සොයා ගන්නට දුලබ නැත.

ඒ නිසාවෙන් වර්තමානය වන විට අපේ ජීවන රටාව තුළ වැදගත් තැනක් හිමි වන අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ජාල පිළිබඳව පාසල් විෂය නිර්දේශයට එක් විය යුතුම බව මගේ අදහසයි. එමෙන්ම එම දැනුම නිසි පරිදි ලබා දෙන්නට යාවත් කාලීන කරන ලද විෂය නිර්දේශයක්, තාක්ෂණික සම්පත් හා එය ප්‍රායෝගිකව දරුවන්ට ඉගෙන ගන්නට හැකි පරිදි උගන්වන්නට අදාළ ගුරුවරුන් හා ගුරුවරියන්ට ඒ පිළිබඳව නිසි පුහුණුව ලබා දීමද වැදගත්ය.

කෙසේ වෙතත් අවසානයේ කිව යුත්තේ කුඩා දරුවන්ගේ වීඩියෝ පට සම්බන්ධ මේ සිදුවීම් මාලාව හුදු එක් හුදකලා සිදුවීමක් ලෙස සළකා එයට පියවර ගැනීමේ පැලැස්තරය අලවනු වෙනුවට ගතික ලෝකයේ දරුවන් නිරාවරණය වන තාක්ෂණයෙන් බල ගැන්වුණු වත්මන් සමාජයට ගැලපෙන පරිදි ඔවුන් දැනුමෙන් සන්නද්ධ කරන තිරසර වැඩසටහනක් වෙනුවෙන් බලධාරින් මෙහෙය වීමට හා ඔවුනට ඊට හැකි පරිදි සහාය වීමට අප වගකීම් සහගත පුරවැසියන් ලෙසින් කටයුතු කළ යුතු බව මගේ අදහසයි. ඒ වෙනුවෙන් පෙරගමන් යන්නට ඔබේ යුතුකම ඉටු කරන්නට මෙයින් ආරාධනා කරමි.

කෙසේ වෙතත් මෙවැන්නක් සාක්ෂාත් කරගැන්මෙහිලා දැනට පාසල් අතර පවත්නා සම්පත් බෙදී යාමේ විෂමතාවය හා නොයෙකුත් ප්‍රායෝගික කරුණු පිළිබඳව ගැටලු මතු වීම යථාර්ථය වුවත් මීට පෙර ලිපියකින් දක්වා ඇති තමන් අකුරු කරන්නට යන මඟ සිටින අලින්ගේ උවදුරු ආදි බාධක පවා දෙවැනි කරමින් සිය පාසලේ ව්‍යාපෘති මුහුණු පොතේ සජීවි විකාශයන්(FB Live) දෙන දරුවන් ඊට අත්වැල දෙන ගුරුවරුන් සිටින රටක උවමනාවක් ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව මගේ විශ්වාසයයි.

සටහන : සචින්ද දුලංජන

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *