සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එකඟ වූ ඉල්ලීම් පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් දිවයින පුරා රෝහල්වල එම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කර ගනිමින් මීට පෙර සෞඛ්‍ය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එය තාවකාලිකව නතර කිරීමට ඔවුන් තීරණය කළේය.
කෙසේ වෙතත් අත්හිටවූ අරගලය අද දිනයේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය.
සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය විදිහට අද උදේ 8.00ට අපි වැඩවර්ජනයක් ආරම්භ කරනවා. අපි කනගාටුවෙනවා නැවත නැවතත් මෙවැනි වැඩවර්ජනවල නිරතවීම සම්බන්ධයෙන්. කෙසේ නමුත් සෞඛ්‍ය අමත්‍යාංශය අපේ ඉල්ලීමක් සම්බන්ධයෙන් ඇල්මැරුණු ඒ වගේම සත්භාවයෙන් තොරව සිදුකරන කටයුතුත්ත හේතුවෙන් මේ වර්ජන ඇතිවී තිබෙනවා. ඒ නිසා මේ වර්ජනවලදී රෝගීන්ගේ පාර්ශවලින් ඇතිවන සියලු අපහසුතාවයන්ගේ වගකීම සෞඛ්‍ය අමත්‍යාංශය භාර ගන්න ඕනේ. මේ අර්බුදය හේතුවෙන් අපි නැවත නැවත වර්ජනවලට තල්ලු වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ සෞඛ්‍ය සේවාවේ ඇති වෘත්තීමටය ගැටලුව මීට වඩා මැදිහත් භාවයක්, මීට වඩා ක්‍රමවේදයක්. ඉතින් ඒක දිගින් දිගටම පැහැර හැරීම නිසා අද දවසේ සෞඛ්‍ය වෘත්තීයවේදින් විදිහට වෘත්තීන් 17ක, වෘත්තීයවේදීන් කණ්ඩායම් 45,000කට අධික වෘත්තීයවේදීන් කණ්ඩායමක් වර්ජන ක්‍රියාමාර්ගය නිරතවෙලා තියෙනවා. මේ වර්ජනයට අපි ළමා රෝහල් මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ වගුගඩු රෝහල් සම්බන්ධ කරගෙන නැහැ.
කෙසේ වෙතත් තම සංගමයට එරෙහිව වාරණ නියෝගයක් පවතින බැවින් සිය සංගමය එම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා සහභාගී නොවන බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.