Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබා නොදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට විරෝධය පළ කරමින් කොරෝනා මර්දනයට අදාළ සියලු‍ කටයුතුවලින් අද (25) සිට ඉවත් වන බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අනතුරු අඟවනවා.

වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂතාවක් දක්වමින් කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ආරම්භ වී ඇතැයි, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබෙනවා.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ පවතින අවදානම එක් වෘත්තියකට පමණක් සීමා නොවන්නක් බැවින් සියලු‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ට එක හා සමානව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි.

කොළඹ ජාතික රෝහලේ මෙන්ම මීගමුව මහ නගර සභා පරිශ්‍රයේදී ද වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිදු කෙරුණා.

මේ අතර, කණ්ඩායම් රැසක් සිටියදී වරප්‍රසාදයන්ට යටත්ව වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල අයට පමණක් එන්නත ලබා දීමට ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමින් සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද හෙට දින සිට වෘත්තීය සමිති ක්‍රියාමර්ග වලට යොමුවන බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (24) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය.

ඒ අනුව අද (25) දින සිට සේවා වලින් ඉවත්වන අතර පසු දින සිට වැඩ වර්ජන ක්‍රියාවලියට යොමුවන බවයි කුමුදේශ් මහතා කියාසිටියේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙලෙස තමන්ගේ හැන්දෙන් තමන්ට බෙදාගැනීම එමෙන්ම වරප්‍රසාද ලත් පන්තියක් හදාගැනීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ එක්තරා කල්ලියකට සීමා වීම නිසා දිගින් දිගටම අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල පීඩාවට පත්වෙලා ඉන්නේ. සෞඛ්‍ය ලේකම්වරයා කිසිම වෘත්තීය සමිතියකට සාකච්ජාවක් ලබා දෙන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිවරියගේ සකච්ජාවල තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට මේ මොහොතේ නිශ්චිත කාර්යයක් පැවරිලා නැහැ. රසායනාගාර සහ අනෙකුත් තැන් එක එක්කෙනාගේ ආධිපත්‍යට යටත්වෙලා තිබෙනවා. අලුත් තාක්ෂණය ගෙන්වන්න බැහැ. අලුත් ක්‍රමෝපායන් සැලසුම් කරන්න බැහැ.

රට පුරා වෛද්‍ය වෘත්තිකයින්ගේ පවුල්වලට අයට පමණක් එන්නත් ලබා දීමට ගත් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටළුවක් බවයි කුමුදේශ් මහතා කියාසිටියේ.

මේ රටේ මහජනතාවට එන්නත් මුලින් විදින්නේ නැතුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දුන්නා. රටේ කිසිම පුරවැසියෙක් ඒකට විරුද්ධ වුණේ නැහැ. මොකද ඔවුන් ඒක සාධාරණිකරණය කරගත්තා. එහි වාසිය සියලු දෙනාට ලැබිල තියෙනවා. නමුත් අද වෙනකොට ඒ ඉවසා වදාරා සිටීම සෞඛ්‍ය අමාත්‍යාංශය දඩමීමා කරගෙන තිබෙනවා.

වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වලට පමණක් එන්නත ලබාදීමට ගත් තීරණයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය සම්පූර්ණයෙන් වගකිව යුතු අතර අනුපිළිවෙල බිඳ දමා එක කල්ලියකට මෙය සීමා කිරීම බරපතල තත්ත්වයක් බවයි රවී කුමුදේශ් මහතා පෙන්වා දුන්නේ.

වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඇතිවන හානියේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරිය, ලේකම්වරයා සහ මෙම තීන්දුව ගත් සියලු දෙනා භාරගත යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *