05 වසරේ සිසුන්ට අමානුෂික ලෙස පහර දුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදින ලකුණු – ‌පොලිස් ජීප් රථයත් ළමාරක්ෂක අධිකාරිය භාරයට

2 Min Read

බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව අදාළ කමිටුවේ නිලධාරීන් කණ්ඩායමක් එම පාසලට ගොස් අදාළ සිද්ධිය පිළිබදව සොයා බැලීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්.රණසිංහ මහතා සඳහන් කළේය.

අදාළ පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු සහ පාසල අයත් මිල්ලනිය පොලිස්බල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම ළමුන්ට පහර දී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඒ වගේම මෙම සිසුන්ට පොලිස් ජිප් රථයක් තුළ දී පහර දී විදුලි සැර වැදීමට සලස්වා වධ හිංසාවට ලක් කර ඇති බව ද ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශණවල දී අනාවරණ වී තිබෙනවා.

සොරකමක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන් කිහිපදෙනෙකු එම ළමුන්ට පහරදී ඇති අතර පසුව මිල්ලනිය පොලීසියේ නිලධාරීන් කැඳවා ළමුන් එම නිලධාරීන්ට භාර දී ඇති බව සඳහන්ය.

පොලිස් නිලධාරින් අදාළ ළමුන් පිරිසට අමානුෂික පහර දී ඇති අතර එක් සිසුවෙකු නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

අදාළ සිද්ධිය පිළිබඳව දෙමව්පියන් විසින් ළමා ආරක්ෂන අධිකාරියට සිදුකළ පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ එම අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් පැමිණි මිල්ලණිය පොලිසියේ ජිප් රථයක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබෙනවා.

Share This Article
1 Comment