Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමකට ලක්වූ MT New Diamond නෞකාවේ මිටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කර සිටිනවා. ට්විටර් සටහනක් තබමින් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කලේ නෞකාවේ සේවකයින් ගේ විවේකාගාරය ආශ්‍රිතව පැතිර ගිය ගින්න මැඩපැවැත්වීමට ඔවුන්ට හැකිවූ බවයි.

කෙසේ වුවත් නෞකාවේ එන්ජින් කාමරය සහ පසුපස කොටසේ ගින්න මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මේ වන විටත් මෙහෙයුම් දියත් කරමින් සිටිනවා.

මේ අතර නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසරඅමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කර සිටිනවා.

දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

මේ අතර ගින්නත් සමග අද අලුයම නැවේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නැවේ සමබරතාව ගිලිහෙමින් පවතින බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේය.

ගිනිගත් නෞකාවේ බොයිලේරුවේ සේවය කරමින් සිටියදී අතුරුදන් වූ  පුද්ගලයා මියගිය බව වාර්තා වී ඇතැයි නාවික හමුදාව සඳහන් කළේය.

නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ප්‍රකාශ අනුව එය තහවුරු වන බවයි.

නෞකාවේ සේවය කළ 22 දෙනෙකු මේ වනවිට නිරුපද්‍රිතව බේරා ගෙන ඇති අතර, එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ කල්මුණේ රෝහලේ ය.

සෙසු පිරිස ගින්න නිවීම සඳහා නාවික හමුදාව සමග එක්ව කටයුතු කරමින් සිටින බව ද ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවක් වන මෙහි,ගින්න ඇති වූයේ සංගමන් කන්ද තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී යි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා තුනක් , ඉන්දීය නාවික හමුදාවේ නෞකා දෙකක්, හම්බන්තොට වරායෙන් නෞකා දෙකක් හා අදාළ නැව අයත් සමාගමේ නෞකාවක්ද මේ වන විට යොදවා තිබේ.

නාවිකා හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ ගින්න නිවා දැමීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි.

ගුවන් හමුදාව ද ගින්න නිවීම සඳහා පියවර ගනිමින් සිටින බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *