Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ වර්තනය පාලනය කිරීමට අදාළ වෛද්‍ය පරීක්ෂණාගාර ධාරිතා පහසුකම් නොමැතිවීම හේතුවෙන් ගාල්ල, කරාපිටිය රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් 4ක ගොඩ ගැසී තිබෙන පී.සී.ආර්. සාම්පල 10,000ක පමණ පරීක්ෂණ ප්‍රතිඵල ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

එසේ පරීක්ෂණ ප්‍රතිපහල ලබා දීමට නොහැකි වීම හේතුවෙන් කරාපිටිය රෝහල තුළ පී.සී.ආර්. සාම්පල 2,145ක් ද අනුරාධපුර රෝහල තුළ සාම්පල 1500ක් ද අයි.ඩී. එච්. රෝහල තුළ සාම්පල 1,800ක් ද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සාම්පල 4,500ක් ද ගොඩ ගැසී ඇති බව අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසන්නේ ලැබෙන පී.සී.ආර්. සාම්පල සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයේ ගබඩා කර තැබීම සිදු කළ යුතුව ඇති නමුත් කරාපිටිය රෝහල තුළ ඒ සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් ප්‍රමාණවත් නොමැති බවත් එකී ගැටලුව නිසා දෛනිකව ලැබෙන සාම්පල එම රෝහලේ අයිස් කාමර තුළ අසුරා තැබීමට සිදුව ඇති බවත් ය.

ඉහත කී සාම්පල භාර ගැනීම, තෝරා ගැනීම, දත්ත පරිගණකගත කිරීම ඇතුළු ඒ හා සම්බන්ධ සෙසු කටයුතු කිරීම සඳහා එම රෝහල තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවද පැය 10ක් 15ක් අඛණ්ඩව සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්, තාක්ෂණ නිලධාරීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආහාර ගැනීම, විවේක ගැනීම, ස්නානය කිරීම ඇතුළු ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් ඉහත කී සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම වසංගත තත්ත්වයෙන් මෙරට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නම් මෙම පරීක්ෂණ ප්‍රතිඵල ඉතා කඩිනමින් ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා ආණ්ඩුව වහා මැදිහත්විය යුතු බවය.

ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර තිබෙන යෝජනා මෙසේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ ඉදිරි අවශ්‍යතා සියල්ල සලකා බලා ඕනෑම තත්ත්වයකට සරිලන පරිදි ඉඩකඩ සහිත නව ගොඩනැගිල්ලක් ලබා දීම හෝ රෝහල තුළ පහසුවේ ළඟා විය හැකි ස්ථානයක ඇති කාමර කිහිපයක් ඔවුන් වෙනුවෙන් වෙන් කර දීම.

අවම වශයෙන් තවත් පී.සී.ආර්. යන්ත්‍ර 2ක් සපයා දීම සහ ඒවාට අත්‍යවශ්‍ය පහසුකම් සපයා දීම.

පරීක්ෂණ කට්ටල නිතිපතා අඛණ්ඩව සැපයීම.

සියලු ම සේවක කණ්ඩායම් අවශ්‍යතා පරිදි ඉතාමත් ඉක්මනින් අනුයුක්ත කිරීම. (අවම වශයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙක්, වෛද්‍ය රසායනාගාර කාර්මික නිලධාරීන් තිදෙනෙක්, සුළු සේවා කාර්ය මණ්ඩලය සඳහා හතර දෙනෙක්, පරිගණක ක්‍රියාකරුවන් දෙදෙනෙක්)

ශීතකරණ හා අත්‍යවශ්‍ය උපකරණ අවශ්‍ය ප්‍රමාණයට සපයා දීම.

සාම්පල ආදාළ උෂ්නතවයේ පවත්වාගෙන යාම ප්‍රතිඵලය කෙරෙහි බලපාන බැවින් මෙය හදිසි අවශ්‍යතාවයකි.

ඔවුන් නිරන්තරව දිරි ගැන්වීම සඳහා දිරි දීමනාවක් වැටුපට එකතු කිරීම.

පෞද්ගලික ආරක්ෂක උපකරණ අවශ්‍ය තරම් සැපයීම.

ඔවුන්ගෙන් එක් අයෙකුට හෝ කොරෝනාවෛරසය ආසාදනය වුවහොත් සේවයේ යෙදවීම සඳහා අමතර කාර්ය මණ්ඩලයක් පුහුණු කිරීම යන කරුණු ද ඊට ඇතුළත් ය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *