Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දාහතර වන තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී අද පැවැත්වුණා. ඒ කළම්බෝ කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

අද දින ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් අවුරුදු 24ක් වයසැති යොවුන් ක්‍රීඩක සහන ආරච්චිගේ සහ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව ආකාරයට වේග පන්දු යවන නුවන් තුෂාර 20 20 වරම් දිනාගනු ලැබුවා.

සහන් ආරච්චිගේ 20 20 වරම් දිනා ගනියි – Image Source – SLC
නුවන් තුෂාර 20 20 වරම් දිනා ගනියි – Image Source – SLC

කෙසේ නමුත් මොහොමඩ් අමිර්ගේ විශිෂ්ට පන්දු යැවීමත්, කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් සුපුරුදු රිද්මයට නැවත පැමිණීමත් නිසා මෙම තරඟයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි කළම්බෝ කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 171 ක් පමණයි. එහිදී ඩැනියෙල් බෙල් පන්දු 36 කදී ලකුණු 44ක් රැස් කරගැනීමට සමත් වුණා. දිනේෂ් චන්දිමාල් පන්දු 20ට ලකුණු 35 ක්ද , තික්ෂිල ද සිල්වා පන්දු 17ට ලකුණු 27 ලබාගත්තා.

පන්දු යැවීමෙදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මොහොමඩ් අමීර් ප්‍රතිවාදීන්ට ලකුණු 26ක් පමණක් ලබාදෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. ලක්ෂාන් සඳකැන් ලකුණු 33ට කඩුලු 3ක් දවා ගත අතර ධනංජය ලක්ෂාන් ලකුණු 34ට එක්කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

Image Source : SLC

ඒ අනුව ලකුණු 172 ක ඉලක්කය සපුරාලීම සඳහා පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් තම වගකීම කරට ගනිමින් ස්ථාවර ආරම්භයක් ලබාගත්තා. අසාන් අලි පන්දු 38ට ලකුණු 56ක් රැස් කල අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 28කදී ලකුණු 38ක් රැස් කළා. භානුක රාජපක්ෂ නොදැවී පන්දු 24කදී ලකුණු 37ක් රැස් කල අතර අසාම් කාන් පන්දු 16කදී නොදැවී ලකුණු 35ක් වාර්තා කරමින් පන්දුවාර 17ක් තුල ජයග්‍රාහී ලකුණු සිමාව පසු කරන්නට සමත් වුණා.

පන්දු යැවීමේදී ක්වයිස් අහමඩ් ලකුණු 23ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවාගත් අතර ධම්මික ප්‍රසාද් ලකුණු 33ට එක් කඩුල්ලයි.

කළම්බෝ කිංග්ස් 171/10 (20 Ov, RR: 8.55)

ඩැනියෙල් බෙල් – පන්දු 36 කින් ලකුණු 44
දිනේෂ් චන්දිමාල් – පන්දු 20 කින් ලකුණු 35
තික්ෂිල ද සිල්වා – පන්දු 17 කින් ලකුණු 27
මොහොමඩ් අමීර් 5/26
ලක්ෂාන් සඳකැන් 3/33
ධනංජය ලක්ෂාන් 2/8
ගෝල් ග්ලැඩියේටර්ස් 175/2 (17.3 Ov, RR:10.0)

අසාන් අලි – පන්දු 38 කින් ලකුණු 56
ධනුෂ්ක ගුණතිලක – පන්දු 28 කින් ලකුණු 38
භානුක රාජපක්ෂ – පන්දු 24 කින් නොදැවී ලකුණු 37
කුවේස් අහමඩ් 1/23
ධම්මික ප්‍රසාද් 1/33

තරඟයේ වීරයා : මොහොමඩ් අමීර්
දහහතරවන තරඟය : ගෝල් ග්ලැඩියේටර්ස් සහ කළම්බෝ කිංග්ස්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟාවලියේ තමන් ලබාගත් මෙම පළමු ජයග්‍රහණය හමුවේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. මේ වන විටත් ජැෆ්නා ස්ටැලියන්ස් , කළම්බෝ කිංග්ස් සහ දඹුල්ල වයිකින්ස් අවසන් පුර්ව තරඟ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, මේ හේතුවෙන් සුපිරි කණ්ඩායම් හතර අතරට පැමිණීමට ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරඟයක් නිර්මාණය වී තිබෙනවා.

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *